01/05/2025
#දෙහෙනකන්ද_මුක්කුවත්ත වනගත මාර්ගය හරහා සිරිපා කරුණාව⛰️
කතාව පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම දෙහෙන කන්ද මාර්ගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.අනිත් මාර්ග වලට සාපේක්ශව මේ මාර්ගය හොයාගෙන ලොකු කාලයක් වෙන්නෙ නෑ .ඒකට හේතුව වෙන්නෙ මේ මාර්ගය හොයගෙන තියෙන්නෙ 1993 දි. ඒ වගේම මේ මාර්ගය හොයගන්නෙ වෙඩික්කාර කම්කානන්ගේ ඩිංගිරි කියන පුද්ගලයා විසින් කියල තමයි සදහන් වෙන්නෙ.තියෙන දුෂ්කර බවත් සමග ජල දුර්ඝ,ගිරි දුර්ඝ,වන දුර්ඝ පසු කරමින් යන්න සිද්ද වෙන නිසාම මේ මාර්ගයෙන් කරුණා කරන්න පුලුවන් උනේ ඉතාමත් සීමිත පිරිසකට.ඒ වගේම සිරීපාදය වෙනස් අකාරයකින් දැකගන්න පුලුවන් එකම පාර කියන්නත් පුලුවන්.
හරි අපි දැන් යම් කතාවට😉,සිරිපා කරුණාව ඉස්සෙල්ලාම පටන් ගත්තු දවසෙ ඉදන් තිබ්බ අසාවක් උනේ කවදහරි දෙහෙනනක්ද පාරෙනුත් කොහොමහරි යනව කියල.ඒත් එක්කම තව හේතුවක් වුනේ මේ වෙද්දි ප්‍රදාන මාර්ග 6න් 5ක්ම කරුණා කරල තිබුනත් මේ මාර්ගයේ කරුණා කරන්න අවස්තාව නොලැබීමයි.කිහිප වරක් උත්සහ කරත් ඒ හැම වතාවෙම වුනෙ ගමන කල් ගියපු එක.ඔහොම ඉද්දි සුපුරුදු ගමන් සගය වුන සුභාෂ්ගෙන් මැසේජ් එකක් එනව හෙට රෑ බස් එකෙ යමු කියල අනිද්දා දෙහෙනකන්ද පාරෙන් කරුණා කරන්න.😳
ගොඩක් වෙලාවට ගමන් සංවිධානය කරද්දි මගේ මිත්‍රයගෙ පුරුද්දක් තමයි ගමනක් කිසිම දවසක කල් තියල plan කරන්නෙ නැතිකම😒.
ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඔනේ කාරණාවක් තමයි සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරද්දි හැම වතාවෙම පේ වෙලා තමයි අපි කරුණා කරන්නෙ.පුරුදු විදිහට ඒ කටයුතුත් එ විදිහට කරල ඉරිදා රෑ 11.30 විතර ගෙදරින් පිටත් වුනා වැලිගම බස් නැවතුමට එන්න.
පාන්දර වෙද්දි වෙනදට දැනෙන හීතලට වඩා වැඩි හීතලක් තිබුනෙ වැහි අදුරත් එක්කම වගේ.ඒ වෙද්දි මගේ මිත්‍රයා බස් නැවතුමේ බලන් හිටියෙ මම එනකල් .ඉතින් ගිය ගමන් අවශ්‍ය බඩු ඔක්කොම අරන් ඇවිත්ද තියෙන්නෙ කියල අපහු පාරක් කෝකටත් කියල දෙන්නම බෑග් බැලුව😄.
අපේ ගමන් මාර්ගය වුනේ වැලිගමින් කොලඹට ගිහින් කොලඹින් රත්නපුර ටවුන් එකෙන් දෙහෙනකන්දට යන එක.පාන්දර 12.05 ට වගේ අපි බස් එකට ගොඩ වුනා.හෙට දවසෙම කරුණා කරන්න තියෙන නිසා කෝකටත් කියල පොඩි නින්දක් දාගත්ත දෙන්නම බස් එකේ යන් අතරවාරෙදි.
කොලඹට කිට්ටු වෙද්දි හීනියට වගේ පොඩි වැස්සකුත් පටන් අරන් තමයි තිබුනෙ.කොලඹින් බැහැල ඊලඟට ගොඩ වුනේ රත්නපුර බස් එකට.ආපහු නින්දක් දාගෙන හිටපු දෙන්නම ඇහැරුනේ බස් එකේ ජනෙල් අතරින් හුලග එක්ක අපු හිරිපොද නිසා.ඇහැරිල බලද්දි හොදටම වහින්න පටන් අරන්, දෙන්නම මූනු බලාගත්තෙ හිතේ දෙගිඩියාවෙන් වගේ.මොකද වැස්සෙ දෙහෙනකන්දෙ පාරෙන් කරුණා කරන එක එච්චර සුදුසු නැති නිසා.ඔය අතරෙ පාන්දර 6.05 වගේ වෙද්දි රත්නපුර ටවුන් එකට කිට්ටු වෙන්න අපිට පුලුවන් වුනා.බස් එකෙන් බහිද්දිත් වැසි තත්ත්වය තිබුනත් කලින්ට වඩා අඩු වෙලා තිබුනෙ.අපේ අවසාන නැවතුමට යන්න තමයි ඊලගට තිබුනෙ.බස් නැවතුමේ අනෙක් කොටසෙ ඒ වෙද්දි බස් එකක් තිබුන නිසා පොද වැස්සේ තෙමීගෙන දුවල ගිහින් බස් එකට ගොඩ උනා දෙන්නම.
මේ බස් එක රත්නපුර ටවුන් එකේ ඉදන් දෙහෙනකන්ද හරහා බඹරළකන්දට තමයි යන්නෙ.බස් එක පිටත් වෙන්න තිබුනෙ 6.20ට විතර.
ඉතින් පිටත් වෙන්න වෙලා තිබුන නිසා අපි කොන්දොස්තර මහාතාගෙන් අපේ මුක්කුවත්ත හරහා කරුණා කරන පාර ගැන ඒ අතරෙ පොඩ්ඩක් විස්තර ටිකක් අහගත්ත.මුලින් තිබ්බ වැහි අදුර මේ වෙද්දි සැහෙන තරම් දුරට අඩු වෙලා තිබුන නිසා ලොකු සැනසීමක් උනා හිතට.
ඉතින් රත්නපුරින් පිටත් වෙලා ටික වෙලාවක් යද්දි ඒ වෙනකල් තිබුන අදුරු පරිසරය කෙමෙන් කෙමෙන් පහ වෙලා ඉර එළිය වැටෙන්න පටන් අරන් තිබුනු නිසා අපේ හිත්වල පුදුමතරම් සතුටක් ඇතිවුනේ.
අපේ නැවතුමට කිට්ටු වෙද්දි කොන්දොස්තර මහතා ඔය මල්ලිල ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැගන්න කියල දැනුවත්කරා.අපේ නැවතුම වුනේ "DEHENAKNDA DIVISION "කියල ගහල තිබුන පුවරුව ගාව. බස් එකෙන් බැහැල ඉස්සරහට යද්දි එතෙක් වෙලා වාහන වල සද්ද ඇහුන අපිට කුරුල්ලන්ගෙ කෑගහන සද්ද, කලින් දවස් වල ඇදහැලුනු වැස්ස නිසා පිරි ගියපු දොල පාරවල් වල වතුර සද්දෙ අපේ උද්යෝගය තවත් වැඩි කරා.
අපිට වනයට ඇතුලු වෙන්න තිබුනෙ සහ අපේ ගමන් ආරම්භක ස්ථානය වුනේ කුඩා බුද්ධ මන්දිරය.මේ වෙද්දි වෙලාව උදෙ 8.15 විතර ,ඉතින් බුද්ධ මන්දිරය ගාවට එද්දි එ ගමේම මාමා කෙනෙක් උදේ මල් පහන් පූජා කරන්න ඇවිත් තිබුන නිසා අපිටත් හිතේ සතුටින් ගමන පටන් ගන්න උදේම බුදුන් වදින්නත් අවස්තාව උදා උනා.අවසානෙ සමන් දෙවියන්ටත් පින් දිලා ගමන අවසන් වෙනකන් කරදරයක් නැතුව යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරල බෑග් මලු දෙකත් කරේ දාගෙන පිටත් වුනා.
මෙ බුද්ධ මන්දිරය ගාවින් පහලට යද්දි ඉස්සෙල්ලාම රත්ගග හරහා ඉදිකරපු වේල්ලක් හම්බවෙනව.එකෙන් එතෙර වෙලා තමයි රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නෙ.ඉතින් අපි රක්ශිතයට ඇතුලු වෙන්න කලින් මේ ස්ථානයේ ඉදන් අපේ උදේ අහාරය ගත්තා.ඊට පස්සෙ අපි රත්ගග හරහා එතෙර වෙලා රක්ෂිත භූමියට ඇතුලු උනා.
ඒත් එක්කම කොල අත්තක් එල්ලා පැරණි චාරිත්‍ර අනුව යමින් වනයට ඇතුලු වෙන්න පෙර අවසර අරගෙන අපි ඉදිරියට ගමන් කරා.කලින් දවස් වල තිබුන වැස්ස නිසා අපි යන මාර්ගය දෙපැත්තේ තිබුන කොල පාටින් පිරුන ගස්වල අතු ,කොළ අග වතුර රැදිල තිබීමත් ඒත් එක්කම ගස් කදන් මත හැදී වැඩී තිබුන පාසිත් නිසා වෙනමම ලෝකෙකට ඇතුලු වෙලා වගේ අපිට ඒ මොහොතෙ දැනුනෙ. සොබාදහමට ආදරේ කරන මනුස්සයෙක්ට මේ පරිසරය තනිකරම දිව්‍ය ලෝකයක් බලන බලන අත.මෙහෙම ටික දුරක් එද්දි අපිට වේවැල් දොල හමුවෙනව.
එතනින් පහු වෙලා ඉදිරියට යද්දි එන්න එන්න කුඩලු ප්‍රහාර වැඩි වෙන බවක් තමයි පෙන්නුම් කරේ.සෙරෙප්පු දෙකක් දාගෙන ඉදිරියට යාම අපහසු බව තෙරුන නිසා මගෙ මිත්‍රයාගෙ අදහස උනේ මට සෙරෙප්පු දෙක නැතුව සපත්තු දෙක දාගන්න කියාය.ඒ අදහස හොදයි කියා මටත් හැගුන නිසාවෙන් ඉක්මනින් සපත්තු දෙකට මාරු වුයේ කාලය වැදගත් නිසාවෙනි.අනිත් දේ තමයි යන අතරමග උනත් ගොඩක් වෙලා එක තැනක නවතින්න බෑ,මොකද එච්චර ඉක්මනට කූඩැල්ලො එල්ලෙන්ව.
මේ හේතුව නිසා අපේ ඊලග ගිමන් හරින නැවතුම උනේ ඉහල රාම ගල් ගුහාව(ජම්බෝල ගහ ලග ගල් ගුහාව) ලග.මෙතනට එන්න කලින් අපිට තවත් ස්ථාන දෙක්ක අහුවෙනව මීට සමාන.ඒ තමයි පිලිවෙලින් ,වේල්ලක්කාර ගල ගෙය සහ පහල රාම ගල් ගුහාව.
ඉහළ රාම ගල් ගුහාව ලග ටික වේලාවක් ගිමන් හැරපු අපි අයේ ඉක්මනින් ගමන ආරම්භ කලේ අපිට යන්නට තිබුන කාලය සීමිත නිසා.
ඉතින් අපේ ගමන් මහන්සිය අඩු කරගන්නත් එක්ක පරණ සිරිපා කරුණා කරපු මාර්ග සහ ඒවගෙ සිදුවෙච්ච අමතක නොවන සිද්ධි කතාකර කර තමයි ගස් ,පදුරු අතරින් අපි දෙන්න ඉදිරියට ගමන් කරේ.
ඒ අතරෙ අපේ ඊලග නැවතුම වුනේ භාතිය දොල ගාව.දොල පාර ගාව දෙවෙනි වතාවට ගිමන් හරින්න නතර වුන අපි මූන කට හොදගෙන අපි ගෙනාපු වතුර බෝතල් පුරවගෙන නැවතත් ගමන් ආරම්භ කරා.ඇත්තටම තනි දවසකින් ඉවර කරන්න plan කරපු නිසා උඩ මලුවට යනකන් කාලය කලමනා කරගන්න එක සෑහෙන තරම් අත්‍යාවශ්‍ය වුනා.මේ වෙද්දි වෙලාව දවල් 12.00 කිට්ටුකරල තිබුනෙ.
භාතිය දොල පහුකරල ඉස්සරහට එද්දි අඩවියෙ පරිසරය ටිකෙන් ටික වෙනස් වෙන බව අපිට තේරුම් ගියා, මොකද එතෙක් වෙලා ඉර එලිය අතරින් පතර වැටිල තිබුන කැලෑව ටිකෙන් ටික අදුරු වෙන්න පටන් ගනිපු නිසාවෙන්.වැස්සකට පෙරනිමිත්තක් කියල අපි හිතුව වගේම හෙමින් හෙමින් මහ ගස්වල අතු අතරින් වැහි බින්දු වැටෙන්න පටන් ගත්තෙ නොහිතපු විදිහට ,එත් එක්කම අඩිය ඉක්මන් කරල ඉස්සරහට ඇදුනු අපි කොකටත් කියා අපි ගෙනා වැහි කබා ඇගලාගත්තෙමු.ඉන් පසු නැවතත් මද දුරක් යනවිට හෙමින් වැටුනු වැස්ස හයියෙන් වහින්න පටන් ගත්තෙ ගමනෙ තව සෑහෙන දුරක් යන්නට ඉතිරිව තිබියදී.
වැහි කබා තිබ්බත් වැසි තත්ත්වය වැඩි නිසා ගමනේ වේගය සෑහෙන තරම් දුරට අඩු කරල හෙවනක් සහිත ගහක් අසල නැවතෙන්නට අවසානයෙ අප දෙදෙනාට සිදුවිය.මොහොතකට අපේ සිත්වල වූ එකම ප්‍රාර්ථනාව වූයේ ඉක්මනින් වැස්ස අවසන් වෙලා සමන් දෙවියනගෙ ආශිරවාදයෙන් ඉහලට කරුණා කරන්න ලැබේවා කියල.
මිනිත්තු විස්සක් පමණ පැවති වර්ශාව කෙමෙන් කෙමෙන් අඩු වත්ම නැවතත් අපි ගමන් ආරම්භ කරෙ ඒ වෙද්දි ඇගේ එල්ලිලා හිටපු කූඩැල්ලො ඉවත් කරමින්.ඒ වගේම මේ වෙද්දී අපි පැරඩයිස් ඇල්ල පැත්තට කිට්ටු කරල තමයි තිබුනෙ.ඒ කාරණා එසේ වෙද්දි කිසිම අකාරයකින් නොහිතපු සිද්දියකට මුහුන දෙන්න අපි දෙන්නට සිද්ධවුනේ අපිට කලින් ගමන් ආරම්භ කරල අපු මල්ලිල තුන්දෙනෙකුගෙන් එ ගියපු එක්කෙනෙකුට අමාරු වෙලා ඒ අය අපහු ආපස්සට එන්න මග නතරවෙලා ඉද්දි.
අපේ යන ගමනත් නතර කරල මගේ මිත්‍ර සුභාෂ් ඔවුන්ගෙන් විස්තර අහල මොකක්ද වෙලා තියෙන්නෙ කියල හොයල බලද්දි අපිට දැනගන්න ලැබුනෙ ඔවුන් කිසිම අවබෝදයක් සහ දැනුමක් නැතිව මේ මාර්ගයේ කරුණා කරන්න අපු බවක්.ඒ මොකද මෙ තුන්දෙනා හිතන් ඇවිත් තියෙන්නෙ අනිත් පාර්වල් වගෙ මේකෙ මිනිස්සු, කඩ සුලභ යැයි සිතගෙනය.අනිත් කාරණාව මොවුන් තුන්දෙනා උදේ සිට ආහාර කිසිවක් නැතුව තමයි මේ වෙනකන් ගමන ඇවිත් තිබුනෙ.
ඉතින් අපිට වෙලාව කොච්චර වැදගත් උනත් ඇතිවෙලා තිබුන තත්වය තේරුම් අරන් අපි ගෙනාපූ කෑම වලින් අර මල්ලිලාට දීල, අමාරුවෙන් හිටපු කෙනාට පැනඩෝල් ,වතුර දිලා ඔවුන් සාමාන්‍ය තත්වෙට ආවම යන්න තියන මාර්ගය පැහැදිලි කරල දිලා,අපෙ තිබුන වතුර බොතලයකුත් දීලා අපිත් සමග ඔවුන්ට ඉස්සර වෙලා යන්න කියල නැවතත් ගමන ආරම්භ කලා.
ඇත්තම කතාව මේ වගේ අය එන්නැතුව ඉන්න තරමට තමයි හොද.මොක්ද කතාකරද්දි තේරුන දෙයක් තමයි මේක මේ අතල් එකට වගේ අපු ගමනක් කියල.මොකක් හරි තිබ්බ පිනකට අපිව හම්බෙල කරුණා කරන්න අවසානේ මෙයාලට පුලුවන් උනා.එ දේවල් එහෙම වෙද්දි අපි පැරඩයිස් ඇල්ල එහෙම නැතිනම් බත්තලු ඔය අසලට අවා.මේ වෙද්දි වෙලාව හවස 3.45 විතර වෙලා තිබුනෙ.
ගල් තලාව උඩ බෑග් තියපු අපි වැහි කබා,ඇදුම් ,සපත්තු මේස් ගලවල ඉස්සෙල්ලාම කූඩැල්ලො ඉවත් කරල ඇගපත වතුරෙන් තෙමාගත්ත.කලින් තිබුන වැස්සත් එක්ක අපේ ඇදුම් වතුරෙන් තෙත් වෙලා තමයි තිබුනෙ ඒ වෙද්දි .එවත් එහෙමම තියෙද්දි දවල්ට පොඩියට ගෙනාපු කෑමක් අර මල්ලිල තුන්දෙනාටත් දීල කාල ආපහු ගමනට සුදානම් වුනා.
ඒ වගේම බත්තලු ඔයට පැරඩයිස් ඇල්ල කියල කියන්නත් හේතුව මෙතනට එන ඕන කෙනෙක්ට මනාව පැහැදිලි වෙනනේ වෙන කාරණාවක් නිසා නෙවෙයි අවට දකින්න ලැබෙන දර්ශනය පාරාදීසයක්ම තමයි මේ ඉසව්වෙ බලන බලන අත.
පැරඩයිස් ඇල්ල ගාවට එද්දි පහල ආනතියකට තමයි ගමන් කරන්න තියෙන්නෙ එ වගෙම මේ කොටස පහුකරද්දි නැවතත් ඉහල ආනතියකට තමයි ගමන් කරන්න තියෙන්නේ .මෙතන පහු කරල ඔයෙන් එතෙර වෙද්දිම දෙවන වතාවට අපිට කුඩා බුදු කුටියක් හම්බවෙනව.කලින් ගමන ආරම්භ කරද්දි වගේම මෙතනත් ආගමික වතාවත් කරල ගමනෙ ඉතිරු කොටසත් කරදරයක් නැතුව සමන් දෙවියන්ගෙ පිහිටෙන් ඉවර කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනය පෙරදැරිව අපි ගමන් ආරම්භ කරා.එත් එක්කම පැරඩයිස් ඇල්ල ගැන තව දෙයක් සදහන් කරන්න ඔනේ,,ඒ තමයි දවස් දෙකක් ගත කරල කරුණා කරන්න යන අයගේ පලවෙනි දවසෙ අවසානේ කදවුරු බදින භූමිය වෙන්නෙ මෙ පැරඩයිස් ඇල්ල අසල.
සැලකිය යුතු දුරක් ඉස්සරහට ආවහම අපිට ශ්‍රී පාදස්ථානයේ සේයාවක් පලවෙනි පාරට දැකගන්න පුලුවන් වෙනව.ඊටත් ටිකක් ඉස්සරහට ගමන් කරද්දි පැහැදිලිව දෙවන වතාවට අපිට ශ්‍රී පාදස්ථානය දැක බලාගන්න පුලුවන්.ගමන් මහන්සියත් අපේ ගමන් මළු වල බරත් මොහොතකට අමතක වෙලා ගියෙ උඩමලුවෙන් ඇහුන ඝාන්ටාර හඩත් පිරිත් හඩත් අපේ කන් වලට යොමු වීමත් එක්ක.මුලින් සදහන් කරා වගේම අපිට ශ්‍රී පාදස්ථානය වෙනස් ආකාරයකින් බලගන්න පුලුවන් වෙන්නෙ මේ මාර්ගයෙන් එන කෙනෙකුට විතරයි.
ඉතින් නැවතත් අපි සිරිපාමලුවෙන් මේ ඇහෙන ඝාන්ටාර හඩත් පිරිත් හඩත් එක්ක මද වේලාවක් ගිමන් හරින්න නතර වුනා.ඒ වගේම කියන්න ඔනේ අපිට මෙතනදි දැනුන දෙයක් තමයි ශ්‍රී පාදස්ථානය දර්ශනය වුනේම දිව්‍යලෝකයට යන මාර්ගයක අතරමග අපි නැවතිල බලන් ඉන්නව කියල හැගීමක් අපේ හිතවල ඇති වෙන විදිහටය කියන බව.
ඒ සුන්දරත්වය එහෙම තියෙද්දි සුපුරුදු විදිහට ගිමන් හැරල නැවතත් ගමන් ආරම්භ කරද්දි වෙලාව හවස 5.40 විතර වෙලා තිබුනෙ.තවත් හෝරා කිහිපයකින් අදුර වැටෙන්න පටන් ගන්න නිසා අපේ ගමන ඉක්මන් කරන්න සිද්දවුනා අපිට.මොකද රත්‍රී කාලයේ සතුන් එළිබහින හේතුවෙන් මේ භූමියේ රත්‍රියේ ගමන් කිරීම එච්චර සුදුසු නැති නිසා.
මේ කාරණා එක්ක ඉදිරියට යන අතරතුරේ තිබෙන ඉහළ ආනතිය හේතුවෙන් මගේ එක කකුලක දනහිසෙන් උඩ කොටස කැක්කුමක් අතරමගදි හටගන්නවා.මේ නිසා ඉදිරියට ගමන් කිරීම තරමක් අමාරු කටයුත්තක් වුවත් තිබෙන කාලය එක්ක මගෙ මිත්‍රයා සුභාශ්ගෙ අදහස වුනේ ඔහු මගේ බෑග් එකත් රැගෙන එන්නම් මට ඉස්සර වෙලා නැවත ගමන ආරම්භ කරමු කියාය.
අකමැත්තෙන් වුවද වෙන විකල්පයක් නොමැති නිසා එ අදහසට එකග වී අපි ගමන් ඇරඹුවෙමු.
වෙලාව රත්‍රී 7.15 පමන වෙද්දිත් සුභාශ් මගේ බෑග් එකත් අරගෙන කන්ද නගිමින් හිටියෙ.කලින් සියල්ලට සුදානම් වී පැමිනි නිසා ටෝච් අදාරයෙන් තමයි මේ අවසාන කොටස කරුණා කරේ.නැවතත් මගේ ගමන් බෑගය කරට දාගත්තෙ එ වෙද්දි සෑහෙන තරම් දුරට කකුල සාමාන්‍ය වෙලා තිබූ හෙතූවෙන්.අවසානයේදි අපිට ඉහලට ගමන් කරද්දි රත්නපුර පාරේ පඩිපෙල පෙන්න පටන් ගනිද්දි දැනුන සතුට කියල නිම කරන්න බැරි තරම්.
රාත්‍රී 8.30 විතර වෙද්දි අපි රත්නපුර පාරට ගොඩ වෙනව දෙහෙනකන්ද මුක්කුවත්ත වනගත මාර්ගයෙන් එතෙක් පැමිණි වනගත මාර්ගය නිමා කරමින්.හිතේ තිබුන සතුට එක්ක සමන් දෙවියන්ටත් පින් දිලා නැවතත් අපි පහලට වෙන්න තිබුන කඩේකට ගොඩ වුනේ තිබුන මහන්සියත් බඩගින්නත් නිවගන්න අරමුණින්.
මෙතනදි මතක් කරන්න ඔනේ විශේෂ කාරණා දෙකක් තියෙනව.ඒ තමයි මේ ගමන පුරාවට එක පොලිතීන් කැබැල්ලක් හරි කොල කෑල්ලක් හරි මෙ සංවේදී පරිසර පද්දතියට අපි බැහැර කරෙ නෑ කියන බව.ඒ වගේම අනෙක් කාරණාව මගේ මිත්‍රයා සුභාශ් ගැන ,අපි පලවෙනියටම ශ්‍රීපාදය කරුණා කරේ කුරුවිට එරත්න මාර්ගය හරහා. ඉතින් මගේ කොඩු චාරිත්‍ර කරෙත් මොහු තමයි.එතනින් පස්සෙ සිරිපා කරුනා කරන්න තිබ්බ අනෙකුත් මාරග සියල්ලෙන්ම කරුණාකරල අවසානෙ ඉතුරු වෙලා තිබ්බ දෙහෙනකන්ද මුක්කුවත්ත වනගත මාර්ගය හරහාත් කරුණා කරන්න පුලුවන් වුනේ මොහු නිසා.
අවසාන වශයෙන් රත්‍රි අහාර ගෙන අපේ ඇදුම් මාරූ කරගෙන සුදු ඇදුමින් සැරසිල ඇහැල කනුව අසල කඩේ සිට නැවතත් ගමන් ආරම්භ කරල උඩ මලුවට රාත්‍රී 9.10 ට පමණ ලගා වුනා.ඉස්සෙල්ලාම අපේ ගමන් මලු උඩමලුවෙ තියෙන අම්බලම ඇතුලෙ තියල උතුම් ශ්‍රී පාදය දෙවතාවක් වන්දනා කරලා පසුව දෙදෙනා එක් ඝාන්ටාරයත් නාද කරල දොලොස්මහේ පහන අසලට ගියා පහන් පත්තු කරන්න .සිතල ගතියත් ඒ එක්කම අකා මකා ගෙන නැවතත් උඩ මලුවට කරුණා කරල සමන් දේවාලෙටත් ගොඩ වෙල දෙන්නත් එක්ක වාඩිවෙලා ආගමික වතාවත් වල නිරත වුනා.අවසානයේ අම්බලමට නැවත පැමිණි අපි උදේ ඉර සේවය බලලම පහලට කරුණා කරන අරමුනින් රත්‍රිය උඩ මලුවෙ අම්බලමේ ගත කලෙමු.
ඉතින් පසු දින අපි පහලට කරුණා කලේ සදගල තැන්න හරහා.එ ගැන අපි ඊලග කොටසින් කතා කරමු......⛰️😇
~chathu~
-:©s vibe:-
#දෙහෙනකන්ද_මුක්කුවත්ත #සිරිපාඅඩවිය