31/03/2026
https://www.facebook.com/share/19xrvViNg4/?mibextid=wwXIfr
කුණුදිය පර්වතය තරණය කිරීමට උත්සහා ගත් 8 දෙනෙකුට රු.120,000 ක දඩ නියම වෙයි.
ඊයේ දිනයේදී සමනල අඩවියේ කුරුවිට එරත්න මාර්ගය අසල පිහිටි මීටර් 1,580ක් පමණ උසැති කුණුදිය පර්වතය තරණය කිරීමට උත්සහා ගත් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පලාබද්දල වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මෙම පිරිස කඩවත, ගනේමුල්ල සහ කොළඹ අවට පුද්ගලයන් වේ. මොවුන්ව අද දිනයේදී රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පසු එක් අයෙකුට රු.15,000/- බැගින් 8 දෙනෙකු හට රු.120,000/- ක දඩ නියම කෙරූ බව පලාබද්දල වනජීවී නිලධාරීන් විසින් අපට දැනුම් දෙන ලදී.
සමනල ස්වභාව රක්ෂිතයේ පිහිටි කුණුදිය පර්වතය කන්ද තරණය කිරීම හෝ සමනල රක්ෂිතයට අනවසරෙන් ඇතුළුවීම පවා නීති විරෝධී කටයුත්තකි. එසේම පසුගිය දිනක උඩ මළුවේ සිටි සාමාජිකයෙක් පැවසුවේ රාත්‍රී කාලයේ කිසියක් පිරිසක් විසින් කුණුදිය පර්වතය මුදුනේ ගිනිමැල දල්වා සිටිනු දුටු බවයි. මෙවැනි වියලි කාලගුණික සමයක රක්ෂිතයක ගිනි දැල්වීම අතිශය භයානකය. මේ ආදී බොහෝ පිරිස් නීති විරෝධිව අනවසරයෙන් මෙම කන්ද තරණය බව අඩවි කන්ද ගම්වැසියන් සහ වර්ණගල පිරිස් දැක තිබේ. එසේ ලද තොරතුරක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පලාබද්දල වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (ඉරිදා) දිනයේදී වර්ණගල ආශ්‍රිතව රක්ෂිත ප්‍රදේශය තුලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
සමනල රක්ෂිතයේ ඇති සමනල කන්ද හැර අනෙක් කඳු කිසිවක් තරණය කිරීමට නීතියෙන් අවසර නොමැත. එසේ අවශ්‍ය නම් බත්තරමුල්ල පිහිටි වනජීවී දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ ලිඛිත අවසරය අවශ්‍ය වේ. එවැනි අවසර සාමාන්‍යයෙන් ලබාදෙන්නේ පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයින් හට පමණි.
ඒ වගේම කාලගුණික තත්ත්ව හෝ පරිසරයේ පිහිටීම පිළිබඳව දැනුමක් නොමැතිව මෙලෙස අනවසරෙන් කඳු තරණය කොට කඳවුරු බැඳීම මේ දිනවල ජනප්‍රිය දෙයක් වුවත් එලෙස කඳවුරු බැඳීම කල හැකි තැන් සහ කල නොහැකි තැන් පිලිබඳ අවබෝධයක් තිබීම වැදගත් වේ. මන්ද වියලි කාලගුණයක් සහ දැඩි හුලං පවතින ඉසව්වක ගිනිමැල දැල්වීම සුදුසු නැත. එමඟින් වනාන්තර ගිනි ගැනීමට ලක්විය හැකිය.
මේ දිනවල වනජීවී නිලධාරීන් විසින් මෙලෙස අනවසර ලෙස සමනල රක්ෂිතයට ඇතුළු වන්නන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින හෙයින් නීති විරෝධී ලෙස කටයුතු කිරීමෙන් වලකින්න. අප ලද තොරතුරු අනුව සමූහයක් ලෙස අපට දැනුම් දිය හැක්කේ මෙම ක්‍රියාමාර්ග කුණුදිය පර්වතය පමණක් නොව පිදුරුතලාව, බල්ලන්බැඳීගල, ගවරවිල , බෑන සමනල, සප්ත කන්‍යා, දෙතනගල ආදී කඳු සේම අනෙකුත් පරිවාර කඳු තරණ වලට පවා ඉදිරියේදී නිතැතින්ම අවදානමක් සිදු විය හැකි බවයි.