06/04/2026
ශ්‍රී ලංකා වේලාවෙන් අප්‍රේල් 6 වැනිදා (සඳුදා) උදෑසන 9.00 වන විට මුළු ලෝකයේම අවධානය දිනාගත් ආටෙමිස් II මෙහෙයුම එහි තීරණාත්මකම අදියරකට ළඟා වෙමින් තිබෙනවා. මෙහෙයුම් කාලය (MET) දින 4 යි, පැය 4 යි, මිනිත්තු 56 ක් ලෙස සටහන් වන මේ මොහොතේ, මෙහෙයුමේ පස්වන දිනය (Flight Day 5 / FD05) ආරම්භ කර ඇති අපේ ගගනගාමීන් සිව්දෙනා ඓතිහාසික කඩඉමක් අබියසයි පසුවෙන්නේ.
කිසිදු රූපරාමුවක් නැතත්, නාසා ආයතනයෙන් මේ මොහොතේ ගලා එන සජීවී දත්ත පුවරුවේ සටහන් වන සෑම ඉලක්කමක්ම සහ සෑම ක්‍රියාකාරකමක්ම අපි දැන් සරලව විකේතනය කර බලමු.
ඔරායන් (Orion) යානය මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ අප්‍රිකානු මහද්වීපයට ඉහළින් අභ්‍යවකාශයේයි.
පෘථිවියේ සිට දුර කිලෝමීටර් 375,949 ක්!
සඳට ඇති දුර කිලෝමීටර් 73,249 ක් වැනි ඉතාම ආසන්න දුරක්!
මෙහිදී යානයේ වේගය පිළිබඳව සටහන් වන දත්තය අතිශයින්ම සිත්ගන්නාසුලුයි. මේ මොහොතේ පෘථිවියට සාපේක්ෂව යානයේ වේගය පැයට කිලෝමීටර් 2,266 ක් දක්වා ඉතාමත් අඩාල වී තිබෙනවා. නමුත් සඳට සාපේක්ෂව යානයේ වේගය පැයට කිලෝමීටර් 3,298 ක් ලෙස ඉහළ අගයක් ගන්නවා. මෙයට හේතුව යානය ක්‍රමයෙන් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී, සඳෙහි ගුරුත්වාකර්ෂණයට වේගයෙන් ඇදී යාමට පටන් ගෙන තිබීමයි.
මීට සුළු මොහොතකට පෙර (MET 04:04:28 දී) යානය සිය තෙවන කක්ෂ වෙනස් කිරීමේ දහනය (OTC-3) සාර්ථකව නිම කළා.
තවත් පැය 1 යි මිනිත්තු 11 කින් (MET 04:06:07 දී) ඔරායන් යානය නිල වශයෙන් චන්ද්‍ර ගුරුත්ව කලාපයට (Lunar Sphere of Influence - SOI) ඇතුළු වීමට නියමිතයි. මානව ඉතිහාසයේ වසර 50කට පසු මිනිසුන් පිරිසක් පෘථිවියේ බලපෑමෙන් මිදී වෙනත් ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ආධිපත්‍යයට යටත් වන පළමු අවස්ථාව මෙය වනු ඇත!
මේසා විශාල ඓතිහාසික සන්ධිස්ථානයක් අබියස සිටියත්, දත්ත පෙන්වා දෙන්නේ මේ මොහොතේ ගගනගාමීන් දැඩි ව්‍යායාම සැසියක නිරත වී සිටින බවයි. අභ්‍යවකාශයේ ක්ෂුද්‍ර ගුරුත්වය යටතේ (මේ මොහොතේ යානයේ G-Force අගය 0.0003g කි) මාංශ පේශි දියවීම වැළැක්වීමට ඔවුන් අනිවාර්යයෙන් ව්‍යායාම කළ යුතුයි. පැය 1 යි මිනිත්තු 48 කට වෙන් කර ඇති මෙම ව්‍යායාම සැසියෙන් මේ වන විට 41.1% ක් අවසන් වී තිබෙනවා.
ඔවුන් අද දිනට අවදි වූයේ CeeLo Green ගේ Working Class Heroes (Work) කියන අපූරු ගීතයත් සමඟයි. ඊට අමතරව ඇපලෝ 16 ගගනගාමී චාලි ඩියුක්ගේ සුබපැතුම් හඬපටයද ඔවුන්ට අසන්නට ලැබී තිබුණා. කලින් පෝස්ට් වල මේ ගැන විස්තර කලා.
පෘථිවිය කැරකෙන නිසා ඊයේ සන්නිවේදනය ලබා දුන් ගෝල්ඩ්ස්ටෝන් සහ කැන්බරා ඇන්ටනා මේ වන විට ක්ෂිතිජයෙන් පහළට ගොස් අවසන්. මේ මොහොතේ යානයට සම්පූර්ණ සන්නිවේදනය (PRIME) ලබා දෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් (Madrid DSS56 සහ DSS54) හි පිහිටි දැවැන්ත ඇන්ටනා ජාලයයි.
බාගත කිරීමේ වේගය (DSN Bandwidth) තත්පරයට මෙගාබිට් 3.0 ක් (3.0 Mbps). යානයේ සිට පෘථිවියට සංඥාවක් ඒමට තත්පර 1.25 ක්ද, ගොස් නැවත ඒමට (RTLT) තත්පර 2.5 ක්ද ගතවේ. යානයේ සන්නිවේදන ඇන්ටනාවල කෝණය (Ant 1 Az/El) 19.2° / 7.1° ලෙස සටහන්ව ඇත්තේ පෘථිවිය දෙසට නිවැරදිව එල්ල කරමිනි.
ගගනගාමීන්ගේ ජීවිත රඳා පවතින්නේ යානයේ ජීව ආධාරක පද්ධතිය මතයි. දත්තවලට අනුව එය 100% ක් පරිපූර්ණයි.
කාබන් ඩයොක්සයිඩ් (CO2) මට්ටම 0.81 mmHg (1061 ppm) වැනි ඉතාම සෞඛ්‍ය සම්පන්න, පහළ මට්ටමකට CO2 ප්‍රමාණය අඩු වී තිබෙනවා. CO2 පෙරීමේ යන්ත්‍රය (Scrubber Status - REGEN ACTIVE) උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා.
යානයෙන් පිටත පරිසරය අතිශය කටුකයි. සූර්යයා දෙසට හැරී ඇති පැත්තේ උෂ්ණත්වය සෙල්සියස් ඍණ 103°C ක් වන අතර, අඳුරු පැත්තේ (Cold Side) උෂ්ණත්වය ඍණ 150°C කි. යානයේ සූර්ය කෝෂ (SAW 1 සිට 4 දක්වා) අංශක 176 ත් 161 ත් අතර කෝණවලින් සූර්යයා දෙසට විහිදා උපරිම විදුලිය නිපදවමින් පවතී.
විකිරණ මට්ටම (Space Weather) සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි (Low Risk). මේ දක්වා දින 4ටම ගගනගාමීන්ට නිරාවරණය වී ඇති මුළු විකිරණ ප්‍රමාණය 7.94 mSv කි. එයින් වැඩිපුරම (5 mSv) ලැබී ඇත්තේ පෘථිවි විකිරණ වළලු (Van Allen Belts) පසු කරමින් එන විටයි.
ඉන්ධන (Δ-V Budget) යානයේ යුරෝපීය සේවා මොඩියුලයේ (ESM) ඉන්ධන සංචිතය තවමත් 1,230 m/s ක විශාල අගයකින් ඉතිරිව තිබෙනවා. මීළඟට සැලසුම් කර ඇති පෘථිවියට හැරවීමේ දහනයන්ට (RTC-1 සහ 2) වැයවන්නේ පිළිවෙළින් 10 m/s සහ 2 m/s වැනි ඉතා සුළු ප්‍රමාණයන් පමණයි.
දත්ත පුවරුවේ සටහන් වන තවත් අපූරු ඓතිහාසික සටහනක් තිබෙනවා. මීට වසර 57කට පෙර මුලින්ම සඳට ගිය ඇපලෝ 8 යානය හරියටම මේ මෙහෙයුම් කාලය (MET 04:04:56) පසුකරන විට, ඔවුන් සඳ වටා ගොස් අවසන් වී පෘථිවියට ඒමට සිය එන්ජින් දහනය කරමින් (Trans-Earth Injection) සිටියා. එහිදී ඔවුන් පෘථිවියට අපූරු පණිවිඩයක් දුන්නා. කරුණාකර දැනගන්න, ඇත්තටම නත්තල් සීයා කෙනෙක් ඉන්නවා! කියා.
මෙම ව්‍යායාම සැසියෙන් පසු මහජනතාව සමඟ සන්නිවේදනය කිරීමටත් (PAO), ඉන්පසු කෑම වේලක් ගෙන පැය 5ක නින්දකට යාමටත් ඔවුන් සූදානම්. එම නින්දෙන් පසු ඔවුන් අවදි වන්නේ මෙහෙයුමේ උද්වේගකරම අවස්ථාව වන ඓතිහාසික චන්ද්‍ර සමීප පියාසැරිය සහ සූර්යග්‍රහණය (Lunar flyby & Solar eclipse) නිරීක්ෂණය කිරීම සඳහායි!
මේ මොහොතේ ලොව පුරා 2,266 දෙනෙක් පමණක් මෙම සජීවී දත්ත පුවරුව නරඹමින් සිටිනවා. තවත් පැය කිහිපයකින් ඔරායන් යානය සඳ මතුපිටින් කිලෝමීටර් 6,500ක් තරම් කිට්ටුවෙන් පියාසර කරන ඒ විශ්මිත මොහොතේ සියලුම සජීවී තොරතුරු සමඟින් අපි නැවතත් හමුවෙමු!
#සඳගමන