25/02/2025
රජ මාවත හරහා ශ්‍රී පාදස්ථානයට
ශ්‍රී පාද පද්මය වන්දනාමාන කරගන්න පැරැන්නන්ට අතීතයෙ තිබුනු එකම මාවත රත්නපුර පලාබද්දල මාර්ගයයි. හැටන් පාරෙන් ඉක්මනට පහසුවෙන් විනෝදෙට ගිහින් ආවට ඉස්සර හරි භක්තියකින් ශ්‍රද්ධාවෙන් ගියපු වන්දනා ගමනක් තමයි මේ ගමන. ශ්‍රී පාද වන්දනාවෙ වන්දනාමය අත්දැකීම අතීත කතා ජනප්‍රවාදත් එක්කම විඳින්න යන්න හොඳම නිවැරදිම මාර්ගය තමයි රජ මාවත.
මේ පාරට රජ මාවත නම යෙදිල තියෙන්නෙ අතීතයේ රජවරු ගමන් කල මාර්ගය අර්ථයෙන්. පලමු විජයබාහු සහ නිශ්ශංකමල්ල රජවරුන්ගේ ශ්‍රී පාද ගමන් ගැන සෙල්ලිපිවල සඳහන්.
රත්නපුරෙන් රෑ 7.20 අන්තිම බස් එකත් උදේ 6 පලවෙනි සිරිපාගම බස් එකත් තියෙනව. සුදුසුම උදේ බස් එකේ යන එක. ගොඩදෙනෙක් ශ්‍රී පාදය වඳින්න යන්නෙ රෑට. හැබැයි පරිසරේ සුන්දරත්වයත් එක්ක ගමන ලස්සන වෙන්නෙ වටපිටාව පේන වෙලාවක ගියොත් කියන එකයි මගේනම් අදහස. රත්නපුරෙන් පැය එක හමාරකට අඩු කාලයක් තමයි සිරිපාගමට තියෙන්නෙ. බස් එකෙන් බහින තැන ඉඳල 200m වගේ උඩට යද්දි සමන් දේවාලය හම්බෙනව . එතනින් තමයි ගමන පටන්ගන්නෙ.
මේ මුලු ගමන පුරාම නැග්මත් එක්කම පඩිපෙල තමයි දිගටම තියෙන්නෙ. පොඩි පොඩි තැනිතලා තැන් කිහිපයක් පල්ලම් කිහිපයක් ඇරුනම නැග්ම තමයි දිගටම. මුලු දුර 12km වගේ වෙනව . පඩි 11210 මලුවටම. ඒ පියවර ගාන ගැන විස්තරේ photo එකක තියෙනව.
මේ පාරත් හැටන් පාර වගේ ප්‍රධාන පාරක් හින්දත්, අනෙක් අතුරු පාරවල් 5ක්ම සම්බන්ධ වෙන හින්දත් හැටන් පාර තරම් නොවුනත් සැලකියයුතු පිරිසක් මේ පැත්තෙනුත් ශ්‍රී පාදය කරුණා කරනව.
එකපාරක් හරි යන්න ඕනෙ පාරක් මේක..
කුණු පොදක්වත් පරිසරේට එකතු නොකර ඉන්න වගබලාගන්න..
සුමන සමන් දෙවි පිහිටයි.
සැ.යු විශේෂ දේ.
⭕ ලොකු වතුර බෝතල් අරං යන්න ඕනෙ නෑ. පිරිසිදු වතුර පුරවගන්න ටැප් දිගටම තියෙනව.
⭕ හැටන් පාර වගේ අඩියෙන් අඩියට කෑම කඩ නෑ පොඩි බඩගින්නට දේවල් අරං යන්න.
⭕ වන සතුන් ගැවසෙනව (තෙලිස්සො, වල් ඌරො) අපෙන් හිරිහැරයක් නොවෙනතාක් එයාලගෙනුත් අපිට කරදරයක් නැති උනාට පරෙස්සමින්...