30/11/2025
ගංවතුර බැස ගිය පසු අප මුහුණ දෙන ඊළඟ මහා ඛේදවාචකය
මේ මොහොතේ අපේ අවධානය යොමු වී තිබෙන්නේ ගංවතුරෙන් සහ නායයෑම්වලින් ජීවිත බේරා ගැනීම ගැන පමණයි. නමුත් ජලය බැස ගිය පසු අප ඉදිරියේ මැවෙන්නට නියමිත යථාර්ථය ඊටත් වඩා භයානක විය හැකියි. සරලවම කිව්වොත්, අපි ඉන්නේ බරපතල ආහාර හිඟයක් අබියසයි.
වැනසී ගිය වගා බිම් අපේ බත් පත සරුවට ලැබුණු කුඹුරු යායවල් අද වතුරට දියවී ගිහින් ඉවරයි. ගොවියාගේ ඩහදිය මහන්සිය පමණක් නොව, ලබන කන්නය දක්වා අපට කන්නට තිබූ වී ටිකත් මේ මහා ජල කඳට බිලි වී හමාරයි. උඩරට තත්වය මීටත් වඩා දරුණුයි. එළවළු පාත්ති, තේ වතු නායයෑම් සහ ධාරානිපාත වැස්ස නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින්. පහතරට වගා බිම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ; ඒවා තවමත් වතුර යට. මේ විනාශය හුදෙක් අද දවසට පමණක් බලපාන එකක් නෙමෙයි, මෙය ඉදිරි මාස ගණනාවක් පුරාවට අපේ කුස්සියට දැනෙනු ඇත.
බිඳ වැටුණු බෙදාහැරීමේ ජාලය යම් හෙයකින් වගා බිම් කිහිපයක් හෝ ඉතිරි වී තිබුණා යැයි සිතමු. නමුත් ඒවා වෙළඳපොළට ගෙන එන්නේ කෙසේද? ගංවතුර නිසා පාරවල් යටවුණා පමණක් නෙමෙයි, පාරවල් කැඩිලා, බිඳිලා, ඉරිතලලා විනාශ වෙලා ගිහින්. නිෂ්පාදන ගම්මානවලින් නගරයට ගේන්න තිබුණු ප්‍රවාහන මාර්ග සියල්ලම පාහේ අඩපණයි. ඉතින් ගොවියා ළඟ බඩු තිබුනත්, පාරිභෝගිකයා ළඟට එන්න විදියක් නෑ.
සත්ව ගොවිපොළවල නිහඬ විලාපය අපට නොපෙනෙන, නමුත් ඉතාම ශෝකජනක විනාශය සිදුවී ඇත්තේ සත්ව ගොවිපොළවලයි. කුකුළු ගොවිපොළවල්, දායක ගොවිපොළවල් වතුරට ගසාගෙන ගිහින්. මෙහි ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී බිත්තර, මස් සහ කිරි ආශ්රිත නිෂ්පාදනවල දැඩි හිඟයක් ඇති වීමයි.
අපි දැන් මොකද කරන්නේ? ඇත්ත තිත්තයි. අපිට මුල ඉඳලා හැමදේම පටන් ගන්න වෙනවා. මේ මොහොතේ මනුෂ්‍යත්වයේ නාමයෙන් අපට කරන්න පුළුවන් ලොකුම දේ තමයි "අරපිරිමැස්ම". ඔබ ආපදාවට ලක් නොවුණු කෙනෙක් නම්, අද ඔබේ පිඟානට බෙදාගන්නා බත් ඇටය ගැන දෙවරක් හිතන්න. කෑම විසි කරන්න එපා. තියෙන දේ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මොකද හෙට දවසේ මේ රටේ ඕනෑම කෙනෙක්ට කුසගින්නේ ඉන්නට සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි.
මේ විපත තනි පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙය ජාතික ව්‍යසනයක්. එකට එක්වී, ඉතිරි වී ඇති සම්පත් රැකගෙන, මේ අඳුරු කාලය පසුකර යමු.
Copied