25/07/2025
මම අවුරුදු 7 ක් යාපනයේ දේශපාලනය කළ සිංහලයෙක්. මට මේ කතාව ලියන්න අයිතියක් තියනවා වගේම ඒක යුතුකමක්. මම ඔය යාපනයේ පය නොගහපු තැනක් නැති තරම්. ඇත්තටම දෙමළ මිනිස්සු බහුතරයකට දැන් ඔය කියන ජාතිවාදයක් ඕනෙ නෑ. ඔය ජාතිවාදය අවුස්සන්නේ රටෙන් පිට සරණාගත වීසා හිමි දේශද්‍රෝහි කල්ලියක් හා ඒ අයගේ ඩොලර් පවුම් වලින් යැපෙන උතුරේ ඉන්න දේශපාලකයෝ හා ඉතා සුළු කන්ඩායමක් විතරයි.
දෙමළ කියලා කාටවත් වෙනස් කරලා සලකන්න ඕනෙත් නෑ. දැන්නම් යාපනේ එහෙම තත්වයක් ඇත්තෙත් නෑ. වෙනස්කොට සැලකීමක් තියනවනම් ඒ දෙමළ සමාජය තුලම කුල ප්‍රශ්ණය නිසා පීඩාවට පත්වෙන දෙමළ කොටසක්ම පමණයි. මම මේ කියන්න ආවෙ ඒක නෙමෙයි.
කළු ජූලියක් ඉබේ ඇතිවුනේ නෑ. උතුරේ වෙච්ච යම් යම් බෙදුම්වාදී සිද්ධිවල එක්තරා අවස්ථාවක සිදුවන හමුදා සමාජිකයන් ඝාතනය කිරීමක් එක්ක ඇතිවෙන සමාජ කැළඹීමත් එක්ක තමයි මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවෙන්නේ. මොකද ඒ වගේ සිංහල තරුණයක් ඝාතනය වීමක් ඒ මොහොතේ සමාජයට අළුත් දෙයක්. ඒ වගේ තත්වයකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක කවුරුත් ඒ වෙලාවේ දන්නේ නෑ.
සමහරු කියනවා බෙදුම්වාදය ඇතිවුනේ කළු ජූලිය නිසා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදී. කළු ජූලිය ඇතිවුනේ බෙදුම්වාදය නිසා. ඔන්න ඕකයි ඉතිහාසය ඉගෙනගැනීම කොච්චර වැදගත්ද කියලා අපි කියන්නේ.
සමාජමාධ්‍ය විතරක් නෙමේ ප්‍රධාන රූපවාහිනී ගුවන්විදුලිවත් හරියට නැති කාලෙක තොරතුරු හුවමාරු උනේ කටකතා විදියට. දූසමාන ආරංචි රටපුරා හුවමාරු වීම නතර කරගන්න ඉතා අපහසුයි. ඉතින් පාලනයත් අමාරුයි.
දකුණේ හිටපු දෙමළ ජනතාවට ලොකු අසාධාරණයක් උනා. ගොඩක් අය අහිංසක මිනිස්සු. ඒ අතර බෙදුම්වාදීනුත් ඉන්න ඇති. ඒ වෙලාවෙනම් ඒ ගණනක් විදියටනම් ඉතාම සුළු පිරිසක්.
හොදම දේ ඒක නෙමේ කළු ජූලිය ගැන කතා කරද්දී දකුණේ අසාධාරණයට හා පීඩාවට පත් උනු දෙමළ ජනතාව ගැන කතා කරන කවුරුත් ඒ කලබලකාරී තත්වයත් එක්ක උතුරේ ජීවත්වූ දහස් ගානක් සිංහල පවුල් වලට උනේ මොකක්ද කියලා කතා නොකරන එක. ඒ වෙලාවේ ඒ අයටත් මේ තත්වයට මුහුණදීම සුන්දර එකක් උනේ නෑ. ඒ අයට විරුද්ධවත් භීෂණය මුදා හැරුනා. ගෙවල් වලට ප්‍රහාර එල්ල වුනා. සිංහල ව්‍යාපාර ගිණිබත් උනා. සිංහල මිනිසුන් මරා දැමුනා. හිත හොද දෙමළ මිනිස්සු සමහර සිංහලයන්ව ආරක්ෂා කලා. දකුණේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ව ආරක්ෂා කළා වගේම.
එදා දකුණෙන් පලාගිහින් සරණාගතයන් බවට පත්වුණු දෙමළ ජනතාව ඉතා කෙටි කාලයක් තුල නැවත ඇවිත් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ ඉඩම් කඩම්වල අයිතිය භුක්ති විදිනවා. සාමාන්‍ය පරිදි ව්‍යාපාර රැකියා කරනවා, කෝවිල් හදනවා, දෙවියන් යදිනවා, කොළඹ පුරා වේල් උත්සව පවත්වනවා. සිංහල අපි ඒ සංස්කෘතික විවිධත්වයට ගරු කරනවා. ඒක විදිනවා.
එහෙත් එදා උතුරෙන් පලාගිය සිංහලයන් 99% කට වඩා අදටත් ඔවුන්ගේ උපන් බිම්කඩවත්, ඔවුන්ගේ වගා බිම්වත් කරමින් සිටි ව්‍යාපාරයවත් කිසිදා නැවත ලැබුනේ නෑ. අද යාපනයේ ස්ථිර පදිංචිය තියන සිංහල පවුල් 100 ක් වත් නෑ. ඒ අයටත් තමන්ගේ පාරම්පරික ඉඩම් නෑ. යහපාලන කාලේ දුන්න වෙනත් ඉඩම්වල සරණාගතයෝ වගේ ජීවත් වෙනවා. අද යාපනයේ සිංහල මාධ්‍යයෙන් රජයේ කටයුතු වෙන්නේ නෑ. එකම සිංහල විද්‍යාලය හමුදා කදවුරක්.
අන්තිමට මේකත් කියන්නම්. මට එකපාරක් යාපනයේ වෙසෙන සිංහල අම්මා කෙනෙක් මෙහෙම කිව්වා "පුතා අපි එදා යාපනයෙන් පිටත් උනේ ඇදගෙන හිටපු ඇදුම පිටින්. කෝලහාලය ඉවර උනත් ඊට පස්සේ උතුරේ තත්වය ජීවත් වෙන්න සුදුසු උනේ නෑ.. එහේ යුද්ධයක් තිබ්බා, එල්ටීටීඊ එක තමයි යාපනය පාලනය කළේ... අපි 2009 යුද්ධය ඉවර වෙලා අපේ ඉඩම් හොයාගෙන නැවත ආවා. ඒ වෙනකොට අවුරුදු 30 කින් අපි ඒ පැත්තට ගිහින් තිබුනේ නෑ. අපි යනකොට ඒ ඉඩම්වල වෙන දෙමළ අය පදිංචි වෙලා. ඒ දශක තුනක් තුල ඒ ඉඩම්වල හදපු ගෙවල්වල ඉපදුනු දෙමළ ලමයි අපේ ඉඩම්වල සෙල්ලම් කරනවා. අපිට නැවත ඒ ඉඩම් ඉල්ලන්න හිත දුන්නේ නෑ. අපි ඒ වෙනුවට වෙන ඉඩම් රජයෙන් ඉල්ලගත්තා. අදටත් ඒ අලුතෙන් හම්බුන ඉඩම්වලට සින්නක්කර ඔප්පු හම්බෙලා නෑ."
අපේ මිනිස්සු එහෙම මානුෂිකව හිතනකොට 83 කළු ජූලියට පෙර කන්කසන්තුරේ හිටපු සිංහල මිනිස්සු නිදහසේ වැදපුදාගන්න ගිය අවුරුදු 2200 ක ඉතිහාසයක් ඇති තිස්ස විහාරයට අද පිරිසක් අයිතිවාසිකම් කියනවා.
ඇත්තටම අසාධාරණයට ලක්වුනේ, ලක්වෙලා ඉන්නේ කවුද? තීරණය ඔබට බාරයි.
තාරුක ෆොන්සේකා Copied